Spring diary
- Iresha Kariyawasam

- Oct 14
- 3 min read

කොයි තරම් වැඩ තියන උදෑසනක් වුනත්, උදේම කුස්සියේ oven එකේ පාන් ගෙඩියක් පුච්චනකොට මුලු ගෙදර පුරාම විහිදෙන සුවඳ හරිම නැවුම් බවක් ගෙනත් දෙනවා. හෙමීට හෙමීට 2025 අවුරැද්දෙ අන්තිම කාර්තුවටත් ඇවිත් ඉන්න කාලෙ මගේ private practice එක පැත්ත ටිකක් කාර්යබහුලයි. ඒ කොහොම වුනත් අමුතු ලස්සනක් සහ පිබිදීමක් ජීවිතයට එකතු කරන මේ ඔක්තෝබර් මාසයේ තියන සුන්දරත්වය විඳ ගන්න මම කොහෙත්ම අමතක කරන්නෙ නෑ. මේ වෙනකන් හරිම සෞම්‍ය වසන්තයක්, මෙල්බර්න් නුවරටම ආවේණික කාලගුණයක් තමයි අපට අත් විඳින්න තිබුනෙ. කඳුකරයට එනකොට දකින්න තියන මීදුම ගහණ වැසිබර ගතියත්, සැරින් සැරේට ඇද හැලෙන වැස්සත් පරිසරය සිසිල්වත්, නැවුම්වත් තියනවා.
රැකියා කටයුතු සහ පවුලේ කටයුතු කොයි තරම් වුනත් ගෙවාගෙන යන එළඹී ඇති කාලය පුලුවන් තරම් සිහියෙන් කල් ගෙවන්න උත්සාහ කරනවා. ගෙදර තැන තැන පත්තු කරලා තියන ඉටිපන්දම්, මල් පෝච්චි වලට දාලා තියන සුවඳ මල්, ඒ වගේම සතියකට පාරක් දෙපාරක් bake කරන පාන් වල සුවඳ හිත නිතර නිතර වර්තමානය තුල රඳවනවා.
අවුරැද්දෙ අන්තිම මාස කීපය එළඹෙනකොට ගොඩක් වෙලාවට අපේ තුල තියන ශක්තිය ගෙවිලා ඉවර වෙලා වගේ දැනෙන්න පුලුවන්. ඒ ස්වභාවය විශාල මහන්සියක් සහ කලකිරීමක් වුනත් ගෙනත් දෙන්න පුලුවන්. ඒ නිසා හිත energise වෙන දේවල් ටිකක් මේ වසන්ත කාලය තුල මම කරගෙන යනවා.
1) මගේ පොත් රාක්කයෙන් හරි පුස්තකාලයෙන් හරි හොයා ගන්න කියවන්න ආස හිතෙන පොතක් කියවන එක

මේ දවස් වල ආසාවෙන් කියවන පොත් වලින් එකක් තමයි, Hermann Hesse ගෙ Siddhartha කියන පොත. මේක අපි දන්න සිද්ධාර්ථ කථාවට වඩා ටිකක් වෙනස් පැතිකඩකින් ලියලා තියන කථාවක්. මට දැන ගන්න ලැබුනා මේ පොතේ සිංහල පරිවර්ධනයකුත් තියන බව. 1877 ජර්මනියේ උපත ලද කෙනෙක් තමයි Hermann Hesse. එයා 1911 ඉන්දියාවෙ සංචාරය කරලා තියනවා. හරිම සිත් ගන්නා සුලු ශෛලියකින් තමයි ලියලා තියෙන්නෙ.
ඒ වගේමයි මේ පොතත්. The country diary of an Edwardian lady. මේකත් මම හරිම ආසාවෙන් නිතර නිතර බලන පොතක්. ඒ කාන්තාව ඍතු මාරැ වෙන හැටි සහ ඒ ඒ ඍතුව එයා අත් දැක්ක හැටි එයාගෙ දින පොතක සටහන් කරලා තිබුන හැටි තමයි මේ පොතේ තියෙන්නෙ. ඒ තියන පින්තූරත් ගොඩක් එයා තමයි ඇඳලා තියෙන්නෙ. ඒ පොත මගේ තියන ස්වභාව දහමට ඇති කිට්ටු සබඳතාවයට ගොඩක් උදව් කරනවා.
2) ගෙදර පුංචි හරි තැනක් ලස්සනට පිලිවෙලට අස් පස් කරන ගන්න එක
ඒ වගේ දෙයක් කලාට පස්සෙ ඒ දිහාව දකින දකින වෙලාවට හිතට සතුටක් ගෙනත් දෙනවා. ඒ පුංචි සතුටු හිතෙන මොහොතවල් හිත re-energise කරනවා. මගේ වගේම ගෙදර අනිත් අයගෙත් හිතට ඒ දේවල් සතුටක්, නිස්කලංක භාවයක් ගෙනත් දෙනවා කියලා මට දැනෙනවා.
3) උදේ පාන්දරින්ම වැටෙන හිරැ එළිය ගේ ඇතුලට වැටෙන්න සලස්වන එක
ඒ වගේම වත්තට ටිකක් ගිහින් ඒ වෙලාවට ඇවිදින එකත් උදෑසන හිරැ එළිය ලබා ගන්න උදව් වෙනවා. හිරැ එළිය කියන්නෙ මූලික ශක්ති ප්‍රභවය. ඉතින් උදේ පාන්දරම ලැබෙන හිරැ එළිය ගොඩාක් වැදගත්.

4) මගේ පවුලේ අය එක්ක කාලය ගත කරන එක
පුලුවන් තරම් මගේ හිතේ තියන දේවල් මම එයාලත් එක්ක බෙදා ගන්නවා. ඒ තුලින් මම මොන යම් දෙයක් හෝ හිතේ හිර කරගෙන ඉන්නවනම් ඒ දේවල් ඉදිරිපත් කිරීමෙන් සහනයක් ලැබෙනවා. ඒ වගේම එයාලගෙ දේවල් වලටත් ඇහුන්කන් දීලා ඒ අයටත් උදව් කරනවා.

සමහර වෙලාවට කෝපි එකකට වගේ එලියට ගිය වෙලාවක් වුනත් මේ වෙනුවෙන් යොදා ගන්න මම උත්සාහ කරනවා. ඒ වගේම ඒ වෙලාවල් වලදි සංයමයෙන් සහ ඉවසීමෙන් තමයි ඒ කථා බහ කරන්න ඕනෙ. එහෙම නැති වුනොත් අපි ඒ සුන්දර මොහොතවල් අසුන්දර කරන්න ඉඩ තියෙනවා. එතකොට අතීතයට එකතු වෙන්නෙ මිහිරි මතක වෙනුවට අමිහිරි මතක.
පවුලේ අය එක්ව එකට ගෙවන කාලය සුන්දරත්වය මතක අතීතයට එකතු කරන අවස්ථා වුනොත්, මේ වාගේ අවුරැද්ද අවසානයකට ළඟාවෙනකොට ඒ දේවල් අපේ ශක්තිය ඔසවා තබනවා.
පහලින් comment එකක් තියන්න ඔයා මේ blog post එකට කැමතිද කියලා. ඒ වගේම spring diary series එකක් ලියන්න කියලා මම හිතාගෙන ඉන්නවා. ඔයා මේ වගේ posts කියවන්න කැමති නම්, ඒකත් සඳහන් කරන්න.
මේ තරම් වෙලාවක් කියෙව්වට ගොඩක් ස්තූතියි
ගොඩක් ආදරයෙන්,
ඉරේෂා කාරියවසම් ❤️❤️














spring diary series එකත් ලියන්න. අපි බලාගෙන ඉන්නවා
හරිම අසා හිතෙනවා blog එක කියවාගෙන යනකොට. ඒ දේවල් හිතේ මැවනවා. මාටත් bakin වලට අසා හිතුනා. ඇත්තටම ජීවිතේ විදින්න හිතෙනවා. Amazing🥰I love it. Thank u. Soooooooooooo much to you ❤️
මේ වගේ අපේ හිත් නිවනවාට බොහෝම ස්තූතියි 🙏🙏