Spring diary - Slow November
- Iresha Kariyawasam

- Nov 4
- 3 min read

ටික දවසක් ගෙවුනත් උදා වුන මේ අලුත් මාසය ඔයාට සතුට සැනසීම උදා කරදෙන වාසනාවන්ත මාසයක් වේවා කියලා ප්‍රාර්ථනය කරනවා. අපිට නොදැනීම සති හතරක්, එහෙමත් නැත්නම් දින තිහක් ගෙවිලා ගිහින්. මාත් එක්කම මේ slow living journey එකේ ඔයත් යනවනම්, මේ කාලය ගෙවෙන විදිය එතරම්ම කරදර කාරී හෝ වේගවත් විදියට ඔයාටත් දැනෙන්නෙ නැතුව ඇති.

නොවැම්බර් මාසය කියන්නෙ මේ වික්ටෝරියානු ගම්බද කඳුකර පළාත් වල ජීවත් වෙන හුඟක් අය තමන්ගෙ ගෙවතු වගාවෙ ඵල නෙලා ගන්න කාලයයි. ඒ වගේම ගෙවතු වගාව වෙනුවෙන් මහන්සි වෙන කාලයක්. නොවැම්බර් මාසයේ ආරම්භයත් එක්ක ගෙවුන දවස් ටික හෙමීට වගේම අර්ථවත්ව ගෙවුන හැටි ගැන බෙදා ගන්නයි මම ලිපිය ඔයාට ලියන්න හිතුවෙ.
"Smile, breathe, and go slow " කියලා Thich Nhat Hanh කියන ප්‍රසිද්ධ Zen හාමුදුරැවන්ගේමේ කියමන තමයි මේ මාසයේ මගේ motivation එක හැටියට මම තියා ගත්තෙ.
අවුරැද්දෙ අවසානයට තව මාස දෙකක වගේ කාලයක් තියෙන්නෙ. මේ කාලය තුල රැකියාව පැත්තෙන් ටිකක් කාර්යබහුලයි. හැබැයි ඒ වුනත් හිනාවකින් මට වගේම මට හමුවෙන හැමදෙනාටම සංග්‍රහ කරන්න මම අමතක කරන්නෙ නැහැ. ඒ වගේම වැඩ ටිකක් වැඩිවෙනකොට දැනෙන විඩාවට ගැඹුරැ හුස්ම කීපයක් ගන්න එක ඒ විඩාව සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. ඊළඟට තව තවත් slow down වෙන එක. මේ quote එක මගේ ජීවිතය slow and peaceful විදියට ගෙවා ගන්න මට උදව් වෙන්නෙ ඒ විදියටයි.

කඳුකර පළාතට මේ දවස් වල උදා වෙලා තියෙන්නේ නිතර ඇද හැලෙන වැසි සහ හුළං තදින් තියන කාලගුණයක්. අපේ ගෙදර හතර දෙනාම වැඩිය කැමති ටිකක් සීතල, වැසිබර කාලගුණයක් තියෙනවටයි. ඉතින් හැමෝම මේ දවස් වල ගෙයි කොතන හිටියත් ඇද හැලෙන වැස්ස සද්දෙට නිරන්තරයෙන් ඇහුන්කන් දෙමින් තමයි ඉන්නෙ. සමහර වෙලාවට පැයක් විතර ඒ සද්දෙ අහගෙන ගේ ඇතුලෙ එහාට මෙහාට ඇවිදිනකොට හිත නිවිලා යන්නෙ හරියට භාවනාවකට සම වැදුනා වගේ.
ඉතින් මේ වැසි සහිත දවස් අතරෙ එක දවසක් හොඳින් ඉර එලිය වැටුනු, උණුසුම් කාලගුණයක් ඇති එලිය වැටුනු දවසක් උදා වුනා.

හරියටම ඒ දවසෙ ගඟ ගාව මාසෙකට දවසක් තියන farmer's market එක පැවැත්වුන දවස. අපි තීරණය කලා ඒ පැත්තෙ ගිහින් එන්න කියලා. මේ slow lifestyle එක ඇතුලෙ තවත් අපි practice කරන දෙයක් තමයි මේ පාළාතෙ ඉන්න අයගෙ නිෂ්පාදන, ඒ වගේම මේ වටාපිටාවෙම ඉන්න කාබනික එළවලු සහ පළතුරැ වවන ගොවිමහතුන්ගෙන් අපිට සතියකට ගැලපෙන විදියට එළවලු පලතුරැ මිලදී ගන්න එක. ඒ වගේම food trucks වලින් කෑම මිලදී අරගෙන ගඟ අයිනෙ වාඩිවෙලා ආහාර ගන්න එකත් මම දැඩි කැමැත්තක් දක්වන දෙයක්.
මේ වගේ වෙලාවට හිත ඇතුලෙ පුංචි හරි බරක්, බැම්මක් තිබුනොත් ඒ දේවල් වලින් සදහටම ගැලවෙන්න අවස්ථාව මට ලැබෙනවා.
දැන් දැන් අත්‍යවශ්‍ය අවස්ථාවක හැරුණාම සාප්පු සංකීර්ණ වල ඇවිදින එක, ආස හිතෙන දේවල් ගන්න එක, සමාජය යන වේගයට තරඟ වදින එක වගේ දේවල් මගේ ජීවිතයෙන් ගොඩාක් ඈතට ගිහින්. මට අවංකවම සතුටක් ගෙන දේවල් මා ගාවම තියන බවයි දැන් මට හැඟෙන්නෙ. ඒ වගේම මේ වගේ සාමාන්‍ය පොළ දවසක් වුනත් මගේ හිත අස්සක් මුල්ලක් නෑර සතුටෙන් පුරවනවා.

අඳුරැ දවසක උදේට ගේ ඇතුලෙ තැන තැන තියන සුවඳ ඉටිපන්දම් පත්තු කරලා නැවුම් බවකින් හිත පුරෝගෙන කෑම හදන්න ලෑස්ති වෙනකොට gratitude වලින්, කරුණවෙන් හිත වහ ගන්නවා. සන්සුන් හිතක් කියන්නෙ slow down වුන සිතුවිලි සහ emotions වල ප්‍රතිඵලයක්. ඒ දැනෙන සහනය දේවල් ගොඩ ගහ ගත්තා කියලවත්, තාන්න මාන්න ලැබුනා කියලවත් ඇත්තටම නොලැබෙන දෙයක් විත්තිය ජීවිත ගමනෙ හතලිස් හත් වෙනි මංසන්ධිය පහු කරගෙන යනකොට හොඳට මට වැටහෙනවා.

හැමෝම ආස කරන, හැම පෝෂණ ගුණයක්ම ලැබෙන විදියට ඒ slow down වුන හිතෙන් කල්පනා කරලා කරුණාවෙන් කෑම ටික හදන්න පුලුවන් කමම ලොකු සතුටක්. ජීවිතයේ අර්ථය සහ වටිනාකම අපි වයසින් මුහුකුරා යනකොට අපිට දැනෙන්නම ඕන දෙයක්. ඒ තුල කා ගැනවත් තරහක් වෛරයක් ඇති කර ගන්නෙ නැතුව, උදා වෙන දවස ඒ ඒ හැටියට භාරගෙන සතුටින් මුහුණ දෙන එකත් මේ slow lifestyle එකේ තවත් ලස්සන අංගයක්.

ඉතින් මේ පටන් ගත්තු ලස්සන නොවැම්බර් මාසයේ පලවෙනි සතියෙ මගේ ජීවිතය හෙමීට සැනසීමෙන් ගෙවුන හැටියි අද ලියමනෙන් කියවුනේ. එයින් එක දෙයක් හරි ඔයාගෙ ජීවිතයේ සැනසීම වෙනුවෙන් එකතු කර ගන්න පුලුවන් වුනොත් ඒකත් මගෙ ඊ ගාව සතියට මට ලැබෙන අති මහත් සැනසීමක්. ඒ නිසා ඔයා එකතු කර ගන්න දේ comment එකකින් මාත් එක්ක බෙදා ගන්න කියලා මම ඔයාට ආරාධනය කරනවා.
ඉතින් අදත් මේ තරම් වෙලා මම ඔයාට ලියපු ලිපිය කියෙව්වට ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරයෙන් ❤️❤️
ඉරේෂා කාරියවසම්




හිත නිවෙන සහ උද්යෝගයෙන් පුරවන ලිපියක්. බොහෝම ස්තූතියි.