Summer- Mindfulness for slow living
- Iresha Kariyawasam
- 20 hours ago
- 4 min read

ඉස්සර ඉඳලම කථාව අඩු , නිහඬ බව ප්‍රිය කරන ස්වභාවයක් තමයි මා තුල මම දැක්කෙ. ඒ ස්වභාවය නිරන්තරයෙන් මගේ අවධානය මගේ ඇතුලාන්තයේ සිද්ධ වෙන දේ ගැන හිත අවධානයෙන් තිබ්බා කියලයි මට හැඟෙන්නෙ. ස්වභාවික පරිසරය කියන්නෙ මට හරිම හුරැ පුරැදු තැනක්, සහ මගේම කොටසක්, මම අයිති එතනටයි කියලා දැනෙනකොට පුංචි වෙලා යන මාන්නය දැක්කම හිනහත් යනවා. මේ තරම් විශාල, මේ තරම් ලස්සන, මේ තරම් අපිව රකින වගේම බිය වද්දන තැනක මම කොයි තරම් පුංචි කූඹි පැටියෙක්ද කියලා මට ඒ වෙලාවට හිතෙනවා. තනිකම හුඟක් ප්‍රිය කරපු නිසාදෝ කොහෙද මව් තුරුලක දැනෙන උණුහුම මම පොඩි කාලෙ ඉඳන්ම වැඩිපුර වින්දෙ ස්වභාව දහමට සමීප වෙලයි. මාන්නය පුංචි වෙලා පුංචි වෙලා නොපෙනී යනකොට හිත හරී සැහැල්ලුවකට පත් වෙනවා. ගොඩක් humble වෙනවා. ඒ දැනෙන දෙයට නමක් නැතත් ඒ මගේ නිවහන කියලයි මට දැනෙන්නෙ.

දවස ඉවර වෙලා හැන්දෑවට ඇවිදින්න යන එක එදා ඉඳලා මගේ ජීවිතේ තිබුන පුරුද්දක්. ඒ වෙලාවට මුණ ගැහෙන දිය පිරැණු පොඩි ඇළවල්, හැමදාම මාත් එක්ක කථා කරන පුංචි කුරැල්ලො සහ ඈත වටපිටාව පිසගෙන එන සුළඟ හැමදාමත් වෙනස් විදියකටයි මම දැක්කෙ. මගේ හැන්දෑවට යන walks හරිම හෙමීට මේ සියල්ල නරඹමින් ස්වභාව දහම එයාගෙ දවස නිමා කරන ආකාරය ඉතා ඕනෑකමින් බලමින් සහ එයාගෙන් දේවල් ඉගෙන ගනිමින් තමයි සිද්ධ වෙන්නෙ.
ඔය උඩ තියන පින්තූර දෙකම මීට අවුරැදු හයකට කලින් ගත්තුවා. ඊට අවුරැදු නවයකට කලින් ඉඳලා තමයි ජීවිතයෙ හරි අර්ථය හරියටම පැහැදිලි වෙලා පුංචි කාලෙ ඉඳන් දැනුන දේට වටිනාකමක් සහ තේරැමක් ලැබුනෙ. කාගෙන්වත් නෙවෙයි, මා තුලින්ම.

ඒ කාලෙ ඉඳන් හැඩ ගැහීගෙන ආපු ජීවිතේ දැන් එයාගෙ පාඩුවේ ඔහේ නිවෙනවා. ඇත්තටම තමන්ගෙ හිත දවසින් දවස කෙලෙස් වලින් මුදවගෙන අඩියෙන් අඩියෙන් හොඳ කල්පනාවෙන් ඉස්සරහට යනකොට තමයි වැටහෙන්නෙ මේ ඉස්සරහට නෙවෙයි යන්නෙ, නැවතුම් පොළට විත්තිය. ඒක නම් මහ පුදුම සැනසීමක්.
ජීවිතය පුලුවන් තරම් සරල කර ගන්න. ඇත්තටම පුලුවන් උපරිමයෙන්ම. සංකීර්ණ වෙන දේවල් වැඩිය පටල ගන්න එපා. ඔය කොයි දේටත් අපිට තියෙන්නෙ එක ශක්ති පොට්ටනියයි. ඒක ඉවර වෙන වේගෙට re- charge වෙන්නෙ නැහැ. ඒ නිසා අනිත් අයව හදන්න, වෙනස් කරන්න, අනිත් අයගෙ දේවල් හොයන්න හෝ කථා කරන්න යන ශක්තිය සහ කාලය පුලුවන් තරම් ඉතුරැ කරගෙන ඔයා වෙනුවෙන් වැය කරගන්න උත්සාහ කලොත් ඔයාගෙ චිත්ත විවේකය හරි ඉක්මනට ළඟා වේවි.

ඔන්න vlog එකේ පොරොන්දු වුන විදියට පලවෙනි slow living habit එක:
ඒ තමයි ඔයාට මොන වගේ දෙයක්ද ජීවිතය තුල ළඟා කර ගන්න ඕනෙ කියලා තීරණය කරන්න තියෙන නිදහස.
ජීවිතය තුල ඔහේ ගහගෙන යන්නන් වාලෙ යනකොට එදිනෙදා කරන්න තියන දේවල් වලට හිත යොදවමින් හොඳටම හති වැටෙනකන්ම දවස එක්ක හැප්පෙන කොට ඔයාට මොනවද ජීවිතය තුල කරන්න ඕනෙ කියන දේ අමතක වෙලා යනවා. එතකොට කාලයක් යනකොට විශාල මානසික අසහනකාරී බවක් දැනෙනවා. තමන්ගෙ ජීවිතය ඇතුලෙ තමන්ට කරන්න ඕනෙමයි කියලා හැමදාම හිතන දේ දවසින් දවස පස්සට තල්ලු කර කර ඔහේ කොහොම හරි ජිවිතය ගෙවනවට වඩා වයසින් මුහුකුරා යනකොට මට දැනුන දේ තමයි වැඩිහිටියෙක් හැටියට මට ජීවිතය තුල ඇත්තටම කරන්න ඕන දේ කරන්න ඕනෙ කියන එක.
ඒක සොයා ගත්තට පස්සෙ ඒ වෙනුවෙන් අවශ්‍ය කාලය, ශ්‍රමය සහ අවශ්‍ය උදව් ලබා ගන්න අපි ඉදිරිපත් වෙන්න ඕනෙ. ඊට පස්සෙ අත්‍යවශ්‍යම දේ තමයි කැපවීම කියලා කියන්නෙ. කැපවීම සහ ඔයා ඒ වෙනුවෙන් ඔයාට දෙන නිදහස තමයි ඔයාව ඒ පැත්තට ගෙනි යන්නෙ.

දෙවනි එක තමයි;
ඔයා දිනපතාම මොනවද හිතන්නෙ, කියන්නෙ , කරන්නෙ සහ පුරැදු හැටියට ටවත්වාගෙන යන්නෙ කියන එකෙන් තමයි ඔයා කියන කෙනා නිර්මාණය වෙන්නෙ.
ඔයාගෙ අද දවසෙ එන සිතුවිල වලින් 90% කටත් වැඩිය සිතුවිලි ඊයෙත් ආපුවා කයලා research පෙන්වලා දෙනවා. ඉතින් පේනවනෙ කොයි තරම් නම් එකම දේ රස කර කර ඉන්නවද කියලා. අන්න ඒ සිතුවිලි ඔයාට වැඩ දායක, සමාජයට වැඩ දායක නම් ඔයාව වැඩ දායක කෙනෙක් හැටියට නිර්මාණය වෙනවා. ඒ සිතුවිලි අකුසල් ජනිත කරවන, කුසල් පහ කරවන වර්ගයේ ඒවා නම්, ඔයාව නැවත සසර ගමනට සුදුසු, සමහර විට අපායටත් සුදුසුකම් ලාභී අයෙක් විදියට නිර්මාණය කරනවා 😀.
එලියට වෙලා ඉඳගෙන මේ විදියට ලියන්න, ගස් සෙවණේ ඉන්න අපිට ඉඩකඩ ලැබෙන්නෙ Summer කාලයෙදි විතරයි. ඉතින් මම ගොඩක් වෙලාවට උත්සාහ කරනවා ගෙවමින් ඉන්න ඍතුවට අදාල විදියට ඒ මාස තුන ගත කරන්න. එතනින් අපි එනවා තුන් වෙනි කාරණාවට;

ඒ තමයි ඒ ඒ ඍතුවට ගැලපෙන විදියට ජීවත් වෙන එක.
මම දකිනවා සමහර අය winter කාලෙත් මේස් සපත්තු වෙනුවට සෙරෙප්පු දාගෙන යනවා. ඒ දේවල් වලින් කෙනෙක් අසනීප වෙන්නත් පුලුවන්. ඊට පස්සෙ ඍතුවට බැන බැන කාලගුණයට බැන බැන ඉන්නවා. ඊ ගාවට ඒ ඍතුවට හැදෙන්නෙ නැති දේවල් වැඩි ගණන් දීලා අරගන්නවා. ඊට පස්සෙ කියනවා "මේ දවස් වල berries හරි ගණන්" වගේ දේවල්. ඒ වගේම තවත් දෙයක් තමයි, ඒ ඒ කාලෙට දේවල් හැදෙන්නෙ ඒ කාලයේ තියන දේශගුණයට කෙනෙක් ආහාරයට ගන්න සුදුසු දේවල්. ඉතින් ස්වභාව දහම කියන්නෙ අපට වඩා බුද්ධිමත් ස්වභාවයක්. ඒ නිසා මම පුරැදු වෙලා ඉන්නවා ඇහුන්කන් දෙන්න. ඉවසීමෙන් බලාගෙන ඉන්න. ලැබෙන දේ සහ තියන දේ accept කරන්න.
මේ slow living පුරැදු ටිකත් ඔයාගෙ ලැයිස්තුවට එකතු කරගෙන බලන්නකො කොහොමද ඔයාගෙ ජීවිතය වෙනස් වෙන්නෙ කියලා.
තව ගෝඩක් points පොතක් ලියන වෙලාවක පැහැදිලිව සහ විස්තර සහිතව ඔයාට ලියලා තියන්නම්.

ඔයාට මතකනේ මම මේ අවුරැද්දෙ මගේ උපන්දිනේට මට තෑගි දීපු කහපාට රෝස පැළය. ඉතින් ඒකෙ පිපුනු මලකුත් එකතු කරගෙන තව වත්තෙ මේ කාලෙට මල් පිපෙන පඳුරට හැදෙන මේ දම්පාට මල් ඉති කීපයකුත් එකතු කරගෙන තමයි මම මේ සතියෙ කනප්පුව උඩ තියන මල් බඳුන සකස් කර ගත්තෙ.
ජීවිතය සරල කර ගන්නවා කියන එක දිහා භාහිරයෙන් බැලුවොත් පේන්නෙ මල් බඳුන් හදනවා, එලියට වෙලා ලිපි ලියනවා, කැලේ ඇවිදින්න යනවා වගේ වෙන්නත් පුලුවන්. හැබැයි ඒ දේවල් විතරක් කලොත් ලැබෙන්නෙ හරීම තාවකාලික සුවයක්, සතුටක් විතරයි. ආයෙ හිත සනසන්න නම් ආයෙත් ඒ ටිකම කරන්න වෙනවා. මෙතන වෙන්න ඕනෙ අනිත් පැත්තයි. කෙලෙස් නිවුන, කුසල් වැඩෙන හිතක් හදා ගන්න එකයි පලවෙනි කාරණාව විය යුත්තෙ. එතකොට ඉතුරැ ඒවා ඒ හොයා ගත්ත ඔයාගෙ පිරිසිඳු චිත්ත සන්තානයට අදාලව හැඩ ගැහෙනවා. නැත්නම් හැමදාම වෙන්නෙ අරයගෙ, මෙයාගෙ lifestyle වලට ආසාවෙන් බැඳිලා ඒවා ළඟා කර ගන්න හිතෙන එක. ඒකෙන් ආයිත් පාරක් තමන් කියන කෙනා යට යනවා.

අද ලියමනත් ඔයාව හොයාගෙන ඔයා යන ගමනට රැකුලක් වෙයි කියලා මම හිතනවා. වෙනදා වගේම ඔයාගෙ comment එක කියවන්න මම ආසාවෙන් බලාගෙන ඉන්නෙ.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසමි
