Slow living in Spring
- Iresha Kariyawasam

- 3 hours ago
- 3 min read

ඔක්තෝබර් මාසය කියන්නෙ වික්ටෝරියානු ගම්බද කඳුකර පළාතට හරිම නැවුම් බවක් සහ අමුතුම ලස්සනක් ගෙනෙන කාල වකවානුවක්. මුලු ගම්පළාතම විවිධ මල් සුවඳින් සහ නිතරම කොහේ හෝ ගෙදරක හරි ගොවිපළක හරි අලුතින් කැපෙන තණකොල වල සුවඳින් පිරී ගිය කාලයක්.
මගේ ගෙවත්තෙත් බණ්ඩි පපීගෙන එන රෝස මල්, කොල පාටින් පිරිච්ච ගස් වැල් හරිම පිරැණු බවක් සහ අමුතුම පණකින් පිරිලා තියෙනවා. පහතින් මම ඔයත් එක්ක අද බෙදා ගන්න හදන්නෙ මේ මාසෙ අන්තිම සතියෙ මගේ slow living tips ටිකක්. ඒ steps වලින් මම සාමාන්‍ය ඔක්තෝබර් මාසයේ අග සතිය, හරිම විශේෂ විදියට තමයි ගෙවන්නෙ. ඒ තුලින් සෘතුව පටන් ගන්නකොට තිබුණ සතුට, සැනසීම එකම විදියට තියාගෙන වසන්තයේ අවසාන මාසය වන නොවැම්බර් මාසයට මට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා.
1) හැකි තරම් භාහිර පරිසරය සමඟ කාලය ගත කිරීම

මේ ගෙවෙන්නෙ අපිට අපේ දෑස් ඉදිරිපිටම ස්වභාව දහමේ ලස්සන හරිම ආශ්චර්යය විදියට හෙමීට දිග හැරෙන කාල වකවානුවක්. වසන්තයේ විතරක්ම නෙවෙයි, මොන වගේ කාලගුණයක් ගෙවන ගමන් හිටියත්, ඔයාටත් පුලුවන් වටපිටාවෙ අඩු පාඩු වලට නැතුව වටපිටාවෙ තියන මොනවා හරි ලස්සනකට හිත යොමු කරන්න.
භාහිර පරිසරයේ තියෙන්නෙ ස්වභාවිකත්වයක්නෙ. ඒ තුල තියන ලස්සන කෙනෙකුට දකින්න පුලුවන්නම්, අගය කරන්න පුරැදු වෙන්න පුලුවන් නම් එයා තුලත් ඇති වෙන්නෙ හරිම සුන්දර මනසක්. සුන්දර මනසක් ඇති වෙනකොට එයා භාහිරයෙනුත් ප්‍රිය මනාප කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ step එකේ දෙවෙනි පියවර හැටියට එයාට අනෙක් අය තුලත් වැරදි, අඩු පාඩු දකිනවා වෙනුවට අනිත් අයගෙ හොඳ දකින්න පුලුවන් කෙනෙක් වෙනවා. ඒ තුලින් විශාල සහනයක් ලබනවා.
මේ දවස් වල අපිට වැස්ස කොයි වෙලාවෙද කියලා හිතා ගන්න බැහැ. ඒ නිසා එලියට ගිහින් කාලය ගත කරන සමහර වෙලාවට ඔක්තෝබර් මාසෙ spring rain එකට ටිකක් අහු වෙන වෙලාවලුත් තියනවා. හැබැයි කලබල වෙන්න එපා, ලෙඩ නොවී ඉන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒත් අවුරැද්දෙ මාස කීපයකට හම්බවෙන මේ සුන්දරත්වය මාවත් ටිකක් අතරමං කරනවනෙ.
2) ඔයාව සහ ඔයාගෙ ගෙදර ටිකක් අලුත් පෙනුමක් ලැබෙන විදියට දේවල් කරන එක

අපි හැමෝටම තියනවා නේද කොයි තරම් bags තිබුනත් ආසම කරන වර්ගයක්. ඉතින් මම සම්බන්ධයෙන් නම් ඒ ඉතින් පන් සහ hemp වගේ ඒවයින් හදපු මලු තමයි. සීතල කාලෙට ඒවා පාවිච්චියට ගන්න ටිකක් අපහසු නිසා මෙන්න මේ කාලයේ තමයි ඒවා එලි පහලියට එන්නෙ. ඉතින් අලුත් පෙනුමක් ගෙදර ඇතුලෙ සිද්ධ කරනවා කියන දේට අදාල වුනා මට මම ආසම කරන පන් මල්ලට විශේෂිත තැනක් දීපු එක. මේ දේවල් වලට අලුතෙන් මුදල් වියදම් කරන්න ඕනෙ නැහැ. තමන්ට තියන දෙයින්ම පුංචි පුංචි වෙනස් කම් ටිකක් කර ගන්න පුලූවන්.

ඒ වගේමයි නිදන කාමරයක භාවිතයට වැඩිය ගන්නෙ නැතුව තිබුන මේ vintage chair එක මම හොඳට එලිය වැටෙන තැනකින් තියලා reading corner එකක් හදා ගත්තා. ඒ වගේම වහින වෙලාවක ගේ ඇතුලෙන් වාඩිවෙලත් වැස්ස දිහා බලාගෙන ඉන්න පුලුවන් නිසා මට දවස ඇතුලෙ ලැබෙන පුංචි විවේකයකට ඒක ලොකු වැදගත්කමක් ගෙනත් දෙනවා.
ඒ වගේමයි තමන් තුලත් පුංචි හෝ වෙනස් කමක් ඔයා ආසම විදියට කර ගන්න එක.

ඒකටත් කිසි දෙයක් අලුතෙන් ගන්න ඕන නැහැ. ඔයාගෙ ඇඳුම් අල්මාරියේම තියන දේවල් වෙනදා අඳින විදියට වඩා වෙනස් විදියකට ගලපලා අඳින එක, වෙනදට ඒ ඇඳුමට ඇන්ද සපත්තු දෙක, අරගෙන ගිය bag එක, දාගෙන ගිය accessories වෙනුවට වෙන තමන්ට තියන දෙයක් match කරලා බලන එක හොඳටෝම ඇති අපේ මේ කොහොමත් ලස්සන හිත් සතුටු කරන්න. ඒ පුංචි වෙනස්කම් හරිම අමුතු නිහතමානී නැවුම් බවක් ගෙනත් දෙනවා. හිත තුල තියන මදි පුංචි කම් වෙනුවට ලොකු ශක්තිමත් බවක් දැනෙනවා.

3) පුලුවන් හැම වෙලාවකම ඈත බලන එක
මේක " ළඟ බලන්න එපා දුර බලන්න" කියන අපේ පැරණි කියමන ගැන නම් නෙවෙයි. විශේෂයෙන්ම සීතල කාලයෙදි තියන නිරන්තර අඳුරැ ස්වභාවය නිසා ඈත බැලෙනවා හරි අඩුයි. ඈත බලනකොට අපේ ඇස් හොඳට වැඩිපුර විවර වෙනවා. ඒක ඇස් පෙනීමට වගේම ඇස්වල සෞඛ්‍යයට ගොඩක් වැදගත්. ඉතින් විශේෂයෙන්ම සීතල කාලයක් ගෙවලා එහෙමත් නැත්නම් එක දිගට පවතින වැසි කුණාටු සහිත කාලයක් ගෙවලා වසන්තයට එනකොට මේ ඈත බලනවා කියන එක නිතර පුරැදු කරන්න ඕන දෙයක්.
4) ඔයාට තියන නිවාඩු දවස් ටික සහ විවේකී වෙලාවල් ඔයා වෙනුවෙනුත් වෙන් කර ගන්න

මම දන්නව එහෙම වෙලාවක් හම්බ වුන ගමන් ටක් ගාලා මතකයට නැගිල එන්නෙ කරලා ඉවර කර ගන්න තියන වැඩ, ගෙදර වැඩ, එහෙමත් නැත්නම් ආස දේවල් ලැයිස්තුවක්ම එනවා. ඒවා සේරම එක නිවාඩු දවසෙ කරන්න ගිහින් ඒ දවස අනිත් දවස් වලටත් වඩා මහන්සි දවසක් බවට පත් කර ගන්නවා. අවුරැදු පහලවකට විතර කලින් මමත් ඔතන හිටියා. නමුත් අපිට පුලුවන් කල්පනා කරලා බලන්න ගෙවුන කාලය තුල මම රැකියාවට ගොඩක් කාලය දුන්නා, ගෙදර වැඩටත් ඒ වගේම කාලය දුන්නා. එහෙනම් මම පහුගිය ටිකේ කාලය දීලා නැත්තෙ මම වෙනුවෙනුයි.ඒ නිසා මේ ලැබුන වෙලාවෙ මා වෙනුවෙන් තමයි දෙයක් කරන්න ඕනෙ කියලා. තමන්ව බලා නොගත්තොත් මේ ගමන හුඟක් වෙහෙසකර ගමනක් වේවි.
අන්තිම කෙටි සටහන:
Slow living කියන්නෙ රීති මාලාවක් නෙවෙයි. අපේ ජීවිතය ගෙවෙන සාමාන්‍ය විදියට හැකි තරම් අනුගත වෙන එකයි. අද ජීවිත වල වේගය ඒ සාමාන්‍ය වේගයට වඩා අධික නිසයි අපට මේ ගැන කථා කරන්න වෙලා තියෙන්නෙ.
ඉතින් මම හිතනවා මේ කරැණු ටික මේ මාසය සතුටින් අවසන් කර ගන්න වගේම ඔයාට යම් සහනයක් ලබාදෙන සතියක් ගෙවන්න උපකාර වෙයි කියලා.

මේ තරම් වෙලා කියෙව්වට ගොඩක් ස්තූතියි. හැමදාම වගේම මේ blog එක ගැනත් ඔයාගෙ අදහස් මෙතනම පහලින් ලියන්න.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසම්




Comments