Tips to set-up your own Slow living journey in this Winter
- Iresha Kariyawasam

- Jun 27
- 4 min read

Slow living එහෙමත් නැත්නම් සිංහල පරිවර්තනයට අනුව සරල, මන්දගාමී ජීවන රටාව කියන්නෙ හැම මොහොතකම කාර්යබහුල ලෝකයක් තුල මොහොතකට නැවතිලා ජීවිතයේ සරල සහ තමන් ළඟ දැනටමත් තියන දේවල් අගය කරමින් ඒ අගය කිරීම තුල සැනසිලිදායක ජීවිතයක් ගෙවනවා කියන එකයි. විශේෂයෙන්ම සීත ඍතුව කියන්නෙ ස්වභාවදහම පවා විවේක ගන්න කාලයක්.
මුලු වටපිටාවම සීතලෙන් මිදිලා තියන දවස් ටික ටික කෙටි වෙන සීත කාලය කියන්නෙ ඇත්තටම අපේ ජීවිතය slow කරවන කාලයක්. පරිසරය දිහා බැලුවම පේන්නෙත් ගස්වල කොල හැලිලා, නිහඬව වසන්තය උදාවෙනකන් විවේක ගන්න ගස් වැල්.
අපි බලමු මේ කාලය තුල Slow lifestyle එකක් හදා ගන්නෙ කොහොමද කියලා.

1) නිතර නිතර උණුසුම් දේවල් පානය කරන එක
කාර්ය බහුල වෙලාවට තේ එක හරි කෝපි එක හරි හරිම වේගයෙන් හෝ හදිසියෙන් තමයි බොන්නෙ. මේ කාලයේදි ඔයාට පුලුවන් ඔයා කැමති උණුසුම් පානයක් හදා ගන්න. තේකක්, කෝපි එකක් හෝ Hot chocolate එකක් වෙන්නත් පුලුවන්. දැන් හොඳට උණුසුම් තැනක වාඩි වෙලා ඔයාගෙ තේ කෝප්පයෙන් පිට වෙන දුමාරය දිහා බලන්න. දැන් තේ හෝ කෝපි කෝප්පයේ සුවඳ විඳින්න පුලුවන්ද බලන්න. ඊ ගාවට කෝප්පයේ උණුසුම හොඳින් අත් දෙකට දැනෙන හැටි විඳගන්න. මේ විදියට ඔයාගෙ තේ එක, කෝපි එක හරි රසම රස Hot chocolate එක හරි බොනකොට ඔයාට දැනෙයි වෙනදට නොදැනුන ආකාරයේ රසයක්. ඒ වගේම හිත තුල විශාල සන්සුන් කමක්. දැන් බලන්න ඔයා ඔය තේ කෝප්පය සන්සුන්ව බොන වෙලාවෙත් ඔයා වටා ලෝකය කොයි තරම් වේගයකින් දුවනවද කියලා. එහෙම තැනක ඔයා ටිකකට නැවතිලා නේද?
2) "Hygge" කියන සංකල්පය ජීවිතය තුල හුරැ කර ගන්න.

මේ සංකල්පය ඩෙන්මාර්ක වැසියන් තමයි ලෝකයට හඳුන්වා දුන්නෙ. මම මේ ගැන දැන ගත්තෙ මම යුරෝපයේ ජීවත් වුන කාලයේ. අවුරැදු විසි ගණන් වල ඉඳලම මම ජීවිතය තුල පුරැදු පුහුණු කරපු මේ පුහුණුව ගැන කථා කරන්න මටත් විශාල අත්දැකීම් සම්භාරයක් මේ වෙනකොට තියනවා.
Hygge කියන වචනයෙන් එයාලා හඳුන්වන්නෙ සුවපහසුව, උණුසුම සහ සිතේ සැනසීම කියන අර්ථ ටිකයි. මේ දේ winter කාලයේ කරන්න පුලුවන් ආකාර කීපයක් ගැන අපි දැන් කථා කරලා බලමු.
🌸❄️ ඔයාගෙ විසිත්ත කාමරයේ මෘදු ආලෝකයක් ලබාදෙන ඉටිපන්දමක් පත්තු කරන්න.
ඉටිපන්දම් ඔයාට කැමති කාමරයක පත්තු කරන්න පුලුවන්. හැබැයි ඒවා soy wax වගේ natural දේවල් වලින් හදලා තියනවනම් තමයි හොඳ. Scented candle එකක් නම් තවත් හොඳයි. ඒ light smell එක ඔයාගෙ මුලු ගෙදරම සුවඳ කරනවා වගේ දැනෙයි. ඉතින් පුංචි මෘදු ආලෝකයක් එක්ක මුසුවූන lavender, jasmine වගේ සෞම්‍ය සුවඳක් සුවපහසුවක් අනිවාර්යයෙන්ම ගෙනත් දෙනවා.

මගේ ගෙදර මේ දවස් වල කීප තැනකම සුවඳ ඉටිපන්දම් පත්තු වෙනවා. හරිම නිස්කලංක, සුවපහසු සහ පිරිසිඳු බවකුත් මට දැනෙනවා.
🌸❄️ ඊ ළඟට ඔයා විවේක ගන්න වෙලාවට හොඳ ඝනට වියලා නිර්මාණය කරපු blanket එකක් පොරවගෙන විවේක ගන්න. සමහර වෙලාවට ගෙදර තියන කෘතීම heaters වලින් දැනෙන උණුසුමට වඩා හුඟක් වෙනස් හරිම natural උණුසුමක් හොඳ wool blanket එකකින් ලැබෙනවා.
එතකොට ඔයාට දැනෙනවා සීතල වෙලා තිබුන ඔයාගෙ ශරීරය හෙමි හෙමිහිට උණුසුම් වෙන හැටි. ඒ දිහා බලාගෙන විවේක ගන්නකොට ඔයාට දැනෙයි ඔයා කොච්චර නම් සන්සුන් වෙනවද කියලා.
🌸❄️ ගෙදර පරිසරය උණුසුම් සහ ආදරණීය තැනක් බවට පත් කර ගන්න එක

ගෙදර temperature එක වෙනස් වෙන ආකාරය ගැන කල්පනාවෙන් ඉඳලා, අවශ්‍ය වෙනස් කම් අවශ්‍ය වෙලාවට කර ගන්න එක. ඒ වගේම තමන්ගෙ ජීවිතය slow down වෙනකොට නිකන්ම ගෙදර අනිත් අයගෙත් ජීවිත යහපත් වෙන ආකාරය ඔයාට දැනෙන්න ගනීවි.
3) කොයි තරම් සීතල දැනුනත් නිතර නිතර ස්වභාවික පරිසරයට එකතු වීම.
සීතල කාලයේදි නිතරම නිවස තුලටම වෙලා ඉන්න හිතෙන ගතියක් ඇති වෙන්න පුලුවන්. නමුත් මේ කාලය තුලදීත් පුලුවන් තරම් එලියට යන්න උත්සාහ වත් වෙන්න ඕනෙ.

මේ කාලයේදි භාහිර පරිසරය ඔයාගෙ Slow lifestyle එකට ආකාර දෙකකින් උදව් කර ගන්න පුලුවන් වෙනවා.
උදෑසන පිණි බිංදු තැවරැණ කොල නැති ගස් අතු වල තියෙන්න වෙනස්ම ලස්සනක්. ඒවයෙ වැදි වැදි එන සීතල සුළඟ මුලු ජීවිතයම නැවුම් කරනවා වගේ තමයි දැනෙන්නෙ.
අනිත් එක තමයි, මේ කාලයේදි පරිසරය තුල අමුතුම නිහඬ බවක් තියනවා. ඒ නිශ්ශබ්දතාවයත් සිත සැනසීමකට පත් කරවනවා වගේම සිත තුල කථාව අඩු කරනවා.

4) නිවස තුලදීම ඔයාට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් self care habits වලට පුරැදු වෙන එක.
උණුසුම් වතුරෙන් නාන එක හෝ ඇඟ සෝදන එක, ඔයා කැමතිම පොතක් කියවන එක හෝ calming music එකකට සවන් දීම වගේ දේවල් උදාහරණ හැටියට ගන්න පුලුවන්. ඊට අමතරව ගෙදරම සකස් කර ගත්ත තෙල් ජාතියකින් හොඳට ඔලුව massage කර ගන්න එක, පිලිසකර කර ගන්න වෙලා තියන ඔයාගෙ ඇඳුම් මොනවා හරි තියනවනම්, tutorial එකක් බලලා හරි ඒ දේවල් තමන් විසින්ම කර ගන්න උත්සාහ කරන එක වගේ දේවලුත් Slow lifestyle එකක් තුලදි self care habits හැටියට ගන්න පුලුවන්.
5) පෝෂණීය ආහාර නිවසේදීම සකස් කර ගන්න උත්සාහ කරන එක.

එලියෙන් කෝපි එකක් පවා ගන්නවට වඩා ගෙදරම හදා ගන්න පුලුවන් වුනොත් එතන ඔයාගෙ ජීවිතය තුල slow වෙන්න පටන් ගන්න එක තැනක් වෙනවා. ඔයාට අවශ්‍ය විදියටම ඔයාගෙ කෝපි එක, කෑම ටික ඔයාම ගෙදරම හදා ගන්නකොට ඒකට ගත වෙන කාලය, ඔයා එකතු කරන නිර්මාණාත්මක බව වගේ හැම දෙයක්ම ඒ කාලය තුල ඔයාව එක කාර්යයක් තුල නිරත කරවනවා. ඒ තුල ඔයාගෙ ජීවිතය සරල වෙනවා.
Last thoughts:

සරල, Slow lifestyle එකක් කියන්නෙ කම්මැලි වීමක් හෝ නිකන් ඉන්නවා කියන එක හෝ නෙවෙයි. මෙතන අදහස් කරන්නෙ ජීවිතයේ හැම මොහොතක්ම සතුටින් සහ අවධානයෙන් ගෙවනවා කියන එකයි. Slow වෙනකොට තමයි Mindfulness දියුණු වෙන්නෙ.( මුල ඉඳලම Mindfulness practice එක පටන් ගන්න හැටි, පුහුණු කරන උපදෙස් සහ ඒ පුහුණුව ජීවිතයට ගලපන ආකාරය ගැන දීර්ඝ විස්තර තියන course එකක් නිර්මාණය කරගෙන යනවා මේ දවස් වල. ඇත්තටම ඒ නිර්මාණය කියවනකොට මටත් ආස හිතෙනවා. ඉතාමත් ඉක්මනට ඒක website එකට upload කරන්න අපට පුලුවන් වෙයි කියලයි හිතන්නෙ. )
මේ කාලයේදි විශේෂයෙන්ම හිත තුල ඇතිවෙන අනවශ්‍ය කලබලකාරී ස්වභාවයන් let go කරලා හිතට අවශ්‍ය විවේකය, සැනසීම දෙන්න ඔයාට පුලුවන්ද කියලා උත්සාහ කරලා බලන්න පුලුවන්.
ඉතින් ඔයාගෙ අදහස් කියවන්නයි මම මග බලාගෙන ඉන්නෙ.
ගොඩක් ආදරයෙන්
ඉරේෂා කාරියවසම්




Comments