top of page
Search

Spring diary- A letter to a friend

Updated: Nov 11, 2025


ටිකක් එහායින් තියන අල්ලපු ගමයි අපි ඉන්න ගමයි මැද්දෙ තියන කන්ද බැහැගෙන තැපැල් මහත්තයා එන හැටි ඉස්සරහ පඩිය උඩට වෙලා කන්ද දිහා බලාගෙන ඉන්න දවසක මම දැක්කා. ඒ වෙලාවෙ මගේ මතකය inner child එක්ක එකතු වුන අවස්ථාවක් වුනා. මට මතක් වුනා ඉස්සර ආදරණීය යාලුවෙක්ගෙන් ලියුමක් හරි greeting card එකක් හරි එනකොට මගේ හිත කොයි තරම් සතුටින් පිරැණද කියලා. ඒ වගේමයි තැපැල් මහත්තය බයිසිකලය පාරෙන් අපේ ගෙවල් පැත්තට හරවන එකම පුංචි මට ඒ කාලෙ හරි ලොකු excitement එකක් වුනා.

දැන් digital ලෝකයේ හැම දෙයක්ම send button එක ඔබන එක වුනාට මම තවමත් තැපෑලෙන් ලැබෙන ලිපියක් , card එකක් ප්‍රිය කරනවා.



ඉතින් මම හිතුවා මාත් එක්ක ගොඩක් ආදරෙන් ඉන්න ඔයාටත් මේ ලස්සන වසන්තයේ ලිපියක් ලියන්න කියලා. එහෙනම් කියවලා බලමු.


මගේ හිතාදර මිතුරිය වෙත,


ඔයා සැපෙන් ඉන්නවා ඇතැයි හිතනවා. මම ඔයාට එවපු පහුගිය ලිපිය ඔයා කැමැත්තෙන් කියවපු බව මට ඔයා ලියලා එවලා තිබුන දේවල් වලින් වැටහුනා.



මේ දවස් වල උදාවුන වසන්තයේ අවසාන මාසය තව තවත් සරලව ගෙවන්නයි මම කැමති. බැහැගෙන යන ඉර එලිය දම් පාටින් ලස්සනට පෙනෙන මගේ පෝටිකාව පැත්තෙ තියන රෝස පාට මල් පිපෙන රෝස පැළය ඔයාට මතකද? ඔන්න දැන් ඒකෙත් ලස්සනට මල් පොකුරු පිපෙන්න අරගෙන තියෙන්නෙ. වසන්තය කියන්නෙ භාහිර පරිසරයේ විතරක් නෙවෙයි, අපේ ජීවිතයෙත් ලස්සන කාලයක් උදාවෙනකොට අපි කියන දෙයක්නෙ. ගෙදර වත්තෙ මල් ගහක් දෙකක් හිටවන්න බැරි වුනා නම්, වසන්තයේ මේ ලස්සන මගේ වට පිටාව තුල මට දකින්න ඉඩ නොලැබෙන්න තිබුනා. ඒ වගේමයි ජීවිතය තුලත් වසන්තය ඇති කර ගන්න යම් මහන්සියක් අපට ගන්න වෙන්නෙ.



හැමදාම වගේ බුදුන් වැඳලා සිහිය පිහිටුවාගෙන දවස පටන් ගන්න කොට උදේම කරපු මෛත්‍රිය පැතිරවීමෙදි අනිත් දවස් වල වගේම ඔයාවත් මට මතක් වුනා. ඔයාගෙ ජීවිතයත් සතුටෙන්, සැනසීමෙන් පිරෙන්න කියලා හිතුවෙ ඒ මෙත් පිරැණු හිතින්මයි. ඔයාගෙ ජීවිතය තුල යම් හෝ පීඩනයක් හරි පීඩාවක් හරි තියනවනම් ඒ දේවල් නැති වෙලා ඔයාට සැනසීමක් ලැබෙන්න කියලා තමයි අධිෂ්ඨාන කලේ.

උදෑසන බුද්ධ පූජාව කියන්නෙ දවස පුරාම සිහියෙන් ඉන්න, ඒ වගේම හිත තුල ඇති වෙන කෙලෙස් ප්‍රහාණය කරමින් ජීවත් වෙන්න හැකියාව ලැබෙන ක්‍රියාවක්. ඒ වගේම මෙත් සිතින් දවස පටන් ගත්තහම අනිත් අයගෙ වැරදි අඩු පාඩු හොයන එක වෙනුවට තමන්ගෙ හිතේ සතුට තමන් තුලින්ම හොයා ගන්න අවශ්‍ය චිත්ත විවේකය මට ලැබෙනවා. මේක ඔයාගෙ දින චර්යාවෙ නැති දෙයක් නම් මම කියනවට try කරලා බලන්නකො. මේ වෙනුවෙන් ඔය social media වල එක එක්කෙනා පෙන්නන අලංකාර පිත්තල බඩු කට්ටලයක්ම ඕනෙ නැහැ. හොඳට භාජනයක් දෙකක් පිරිසිඳු කරලා බුද්ධ පූජාව වෙනුවෙන් කියලා වෙන් කරලා තියන්න. ඊට පස්සෙ තමන්ට හැකි අයුරින් ගිලන්පසක් හෝ ආහාරමය පූජාවක් ඉමහත් වූ ශ්‍රද්ධාවෙන් ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් පිලියෙල කර ගන්න. දැන් ඔයා හොඳට දත කට මැද ගෙන පිරිසිඳු ඇඳුමක් ඇඳගෙන තුන් සිත පහදවාගෙන පූජාවන් පූජා කරලා වන්දනා කරන්න. ඉතින් මටත් කියලා එවන්න කොහොමද ඔයාට දැනුනෙ කියලා.



ජීවිතේ සරල වෙන තරමට ඒ ජීවිතේ ඇතුලෙ ජීවත් වෙන එක හරි පහසුයි. මහ හුඟක් දේවල් නොතිබුනාට ඉංග්‍රීසි තාලෙට කැටයමක් තිබුන මේ නිල්පාට පීරිසි කෝප්පයට කහට වැඩි කිරි තේකක් හදාගෙන බොනකොට විඩාව දුරැ වෙලා ලැබෙන සැනසීම මට හරියට වටිනවා. ඔයා ඉතින් මාවයි මගේ තේ බීමයි මේ වෙනකොට හොඳටම දන්නවනෙ. ඒක නම් ඔයාට අලුත් දෙයක් නෙවෙයි කියලා මම දන්නවා. ඔයාට ජීවිතේ ඇතුලෙ simple joys ගෙනත් දෙන්නෙ මොනවද කියලත් ඔන්න මට අමතක නොකර කියලා එවන්න.

දවල්ට උයන අතරෙ අපේ නංගි මට කථා කලා. එයත් ඔයාව ගොඩක් ආදරයෙන් මතක් කලා කියන්න කිව්වා. එයාව ඔයා ගියපාර දැක්කට වැඩිය නංගි දැන් ටිකක් කෙට්ටු වෙලා. මම ඒත් කිව්වා ඕනවට වඩා කෙට්ටු වෙන්න එපා කියලා. කාන්තාවකගේ සිරියාව සහ ප්‍රතාපවත් බව හුඟක් කෙට්ටු වුනාම නැති වෙනවයි කයලා තමයි අපේ අච්චි අම්මා කියලා තියෙන්නෙ.



පහුගිය ටිකේම ඉස්සරහ බිත්ති කණ්නාඩිය පහලින් තියන කනප්පුව උඩ තියන සුදුපාට ceramic vase එකට මම ලිලී මල් වත්තෙන් කඩලා දාන එක තමයි කලේ. මේ දවස් වල එලවලු පාත්ති වලට පිටි පස්සෙන් තියන උස ගස්වල ලස්සනට මල් පිපිලා පුංචි ගෙඩි ජාතියකුත් හැදිලා එලවලු පාත්ති උඩට ලස්සනට බර වෙලා තියනවා. ඉතින් මේ සතියට ලිලී මල් වෙනුවට මම ඒ අතු ටිකක් තමයි vase එකට දැම්මෙ. ඔයාට මොකද හිතෙන්නෙ. ගෙදර කරන පුංචි හරි වෙනස් කමක් මගේ හිතත් නැවුම් කරනවා කියලයි මට හැඟෙන්නෙ.



නිතරම වගේ වැස්ස තියන, සීතල කාලගුණයක් ඇති මේ පාර වසන්ත කාලෙ කෝපි කෝප්පයකින් උණුසුම් වෙන ගමන් ලස්සන පොතකට බරවෙන එක මගේ හිතට සතුටක් ගෙනෙන තවත් සරල දෙයක්.



ඔයාට මතකද මම දවසක් පෙන්නපු මගේ අලුත් reading corner එක? මේ vintage පුටුව උඩ ඉඳගෙන වැස්ස සද්දෙට ඇහුන්කන් දෙන ගමන් Camp fire girls පොත කියවන එක තමයි පහු ගිය ටිකේ මගේ ප්‍රියතම දේ වුනේ. ජීවිතේ සරල කර ගන්න ඕනෙ වෙන වැදගත්ම දේ තමයි අපිට තියන දේත් එක්ක සුහද වෙන එක, ඒ වගේම ඒ දේවල් වලින් සෑහීමකට පත් වෙන එක. ඒකට කරන්න ඕනෙ දේ තමයි අපි අලුතෙන් දෙයක් ගන්නකොට ඒ දේ ඇත්තටම මට අවශ්‍ය ද, මට සතුටක් ගෙනෙන දෙයක්ද, එහෙමත් නැත්නම් මට ප්‍රයෝජනයක් තියන දෙයක්ද කියලා හොඳට හොයලා බලලා ගන්න එක. එහෙම නැති වුනාම තමයි හුඟක් වෙලාවට තියන දෙයින් සෑහීමකට පත් වෙන්න බැරි වෙන්නෙ. ලෝකයාට පෙන්වන්න නම් අපි දේවල් ගන්නෙ, පරිහරණය කරන්නෙ, අපිට ඒ කරපු වියදමෙන් අපේ සතුටවත් හොයා ගන්න බැරි වෙනවා.

ඉතින් මට හිතුනා මේ දේත් ඔයාත් එක්ක බෙදා ගන්න. ඒකත් ඔයාගෙ සතුට වෙනුවෙන් උපකාර වෙයි කියලා.



මම හිතනවා මේ ලියුම ඔයාට වෙලාවට ලැබෙයි කියලා. ඒ වගේම ඔයාගෙ හිතට සතුටක් ලැබෙයි කියලා. මම ඉස්සරහ දවසකදි මගේ ලිපිනය ඔයාට කියන්නම්. ඔයාට පාලු හිතුනොත් ලියුමක් ලියලා මට තැපැල් කරන්න. හැබැයි මම ඉන්නෙ හුඟක් ඈත නම්, comment එකකිනුත් අපිට ආදරය බෙදා ගන්න පුලුවන්.


මෙච්චර වෙලා මගේ ලියුම කියෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි.


ගොඩක් ආදරයෙන් ❤️❤️

ඉරේෂා කාරියවසම්

 
 
 

4 Comments


diluu
diluu
Nov 17, 2025

ආදරණීය අක්කා,

ඇත්තටම ඒ ලියුම එව්වෙ මටම කියලා මගෙ හිතට දැනුනා. ඒ වචන වලින් දැනෙන සැනසීම ගැන විස්තර කරන්න මට වචන නැහැ. මගේ ජීවිතේ සාමාන්‍ය විදිහට පිලිවෙලකට ගලාගෙන ගිය ජීවිතයක්.ඒත් ඒ ජීවිතය ඇතුලෙත් තව ජීවත් වෙන්න අපූරු විදිහක් තියෙනවා කියලා ඉගැන්නුවෙ ඔයා. ඒක තමයි ඇත්තටම inner peace කියන්නෙ මම හිතන්නෙ.

මටත් තියෙනවා මේ වගේ පුංචි පුංචි දේවල් මගේ හිතට පුදුම විදිහිට සතුටට පත්කරන.හවසට වැඩ සේරම ඉවර කරලා balcony එකට වෙලා sunset එක නරඹන එක, රෑට තණකොල පාග පාග ඇවිදින ගමන් තරු බලන එක, ලස්සන පොතක් අරන් ඇදට වෙලා table lamp එකේ කහ එලිය යට කියවන එක, හවසට ගිලන්පස හදලා බුදුන් වදිනකොට දැනෙන සැනසීම, yoga .මේ සේරම දේවල් හොයාගන්න උදව් වුනේ ඔයා කියලා මට කියන්නම ඕනේ. ඒකට අපි ඔ…


Like
Iresha Kariyawasam
Iresha Kariyawasam
Nov 17, 2025
Replying to

Hii Dilu, හරිම ලස්සනට ඔයා ජීවිතය හදාගෙන තියනවා නංගි. මේ ලියමනෙන් ඒ බව මට ඇහෙනවා. මේ විදියට ජීවත් වෙනකොට අපි තුල ජීවිතයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙනවා. ඔයා කියනවා වගේ ජීවිතය කියන්නෙ ඔහේ ගලාගෙන යන දෙයක්මත් නෙවෙයි. ඒ නිසා පුංචි හරි කුණාටුවකට පස්සෙ ආයෙත් re- set වෙන්න පුලුවන් නම් ඒක තමයි ලොකුම දේ. ගොඩක් ස්තූතියි ඔයාට මාත් එක්ක මේ ටික බෙදා ගත්තට. ❤️

Like

Meena Perera
Meena Perera
Nov 08, 2025

ආදරණීය ඔබට,

මම දැන් ගෙවන ජීවිතයේ සන්සුන් තැන්පත් සහ ප්‍රීතිමත්. බවට ඔබට ණය ගැතියි... ඔබගෙන් තරම් මගේ හිත හැදුනේ නැහැ වෙන කාගෙන්වත්.

සමහර විට ඒ ඔබ counselor කෙනෙක් meditation teacher කෙනෙක් නිසා විය හැකියි..කොහොම නමුත් ඔබ අලුත් වීඩියෝ එකක්. කරනකම් ආදරයෙන් බලාගෙන ඉන්න කෙනෙක් මම....

බොහෝ වෙලාවට මම දැන් සතියෙන් ඉන්න උත්සාහ කරනවා. ඒක නිරාමිස ප්‍රීතියක්. ...

හිත නොසන්සුන් වෙන කඩා වැටෙන අවස්ථාවල මම. කරන්නේ ඔබේ වීඩියෝ එකක් බලන එක. ඒක ඉතාම හොඳ ඖෂධයක්.

ඉතින් ඔබට ඉතාම ස්තුතියි ...පින් සිදු වේවා. ...🙏🙏

Like
Iresha Kariyawasam
Iresha Kariyawasam
Nov 17, 2025
Replying to

හරිම සතුටුයි මේ ලියමන කියවන්න ලැබුන එක. ❤️❤️💐💐💐

Like
Post: Blog2_Post
bottom of page