top of page
Search

Summer- Mindfulness journey

ree

Summer කිව්වට තවම එහෙම දැනෙන්නෙ නම් නැහැ. සීතල හුළඟ, වැස්ස සහ අතරින් පතර පායන දවස් හැටියට තමයි මේ දවස් වල මේ පැත්තෙ කාලගුණය. දෙසැම්බර් මාසෙ පළවෙනිදා ඉඳලා තමයි කැලැන්ඩරයට අනුව ග්‍රීෂ්ම සෘතුව මෙහෙට ආරම්භ වෙන්නෙ. හැබැයි ස්වභාව දහම වැඩ කරන න්‍යාය ඉතින් ඊට වඩා හුඟාක් වෙනස්. විටක ප්‍රචණ්ඩවත්, තවත් විටක සෞම්‍යවත් අප කරා එන ස්වභාව දහමේ ස්වභාවය හතර අතේ දුවන හිත් එක තැනකට ගේන්න දක්වන්නෙ අපූරු හපන්කමක්. අපිට අමතක වෙලා යන ජීවිතයේ යථාර්ථය බලෙන් හරි මතක් කරවල දෙන බවක් තමයි පෙනෙන්නෙ.


ree

මේ වැට දිගට හිටවලා තියන කහපාට පුංචි මල් ටික දිහා බලාගෙන මුහුදු වෙරළ අයිනෙ කුඩා අවන්හලකට වෙලා ඉඳගෙන ඉන්නකොට තමයි මෙන්න මෙයා මාව හම්බ වෙන්න ආවෙ. සෑහෙන වෙලාවක් එතන හිටපු එයා ආපහු පියාඹගෙන එයාගෙ කට්ටිය වෙතට ගියා. මම අද ලබපු මනුස්සත්වය නිසා මම මෙතන ඉඳගෙන උණුවෙන් කෝපි කෝප්පයක් බබී හිටියට මම ගෙවපු ඒ දහස් ගණනින් යුතු වූ සත්ව ආත්ම ගැන මට සිහිපත් වුනා. දහමක් කණ වැකෙන කාලයක උතුම් වූත් දුර්ලභ වූත් ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න පෙර සසරෙ කොයි තරම් දුක් විඳින්න ඇතිද කියලා මට කල්පනා වුනා. අනන්ත සසරක ඉපදි ඉපදි මැරි මැරි එනකොට අපට අමතක වෙලා යනවා මේ උත්පත්තිය ලබා ගත්ත හේතුව. ස්වභාව දහම තුලින්ම අත් දකින්න තියන ඒ ධර්මතාවයන් ස්වභාව දහම විසින්ම වරින් වර හිත් තුලට කාවද්දන හැටි හරිම ගැඹුරුයි.


ree

වරින් වර ඇහුන මහ මුහුදේ රළ ශබ්දය නිසා හිත තුල සිදුවෙන reflection එකත් වර්තමානය තුල මා අවට සිදුවෙන දේටත් මාරුවෙන් මාරුවට සිහිය පැවතුනා. ඇත්ත ඇති හැටියෙන්, සිද්ධ වෙන දේ ඒ ඒ හැටියෙන් දකිනකොට හිත තුල දවන තවන ගැටෙන ස්වභාවයන් ඇති වෙන්නෙ නැහැ. ඇති වුනත් ඒ ගැන පැහැදිලි අවබෝධයත් නිවැරදි දැක්මක් නිසා වැඩි දුර නොගිහින් හිත තිබුන තත්ත්වයට පත් කර ගන්න ලොකු පහසුවක් දැනෙනවා.


ree

මේ අවුරැද්ටම මම කඩෙන් මල් ගත්තෙ නැති බවක් තමයි මගේ මතකයේ තියෙන්නෙ. හැබැයි anniversary එක සහ mother's day කියන දවස් වලදි නම් මට මල් තෑගි විදියට ලැබුනා. වත්ත වටේ තියන වන මල් සහ මම වවලා තියන මල් වලින් තමයි මම ගෙදර ඇතුලට භාහිරයේ ලස්සන අරගෙන ආවෙ. ඒ විදියට නිවාස අලංකරණය ගැන හිතනකොට නිකන්ම වගේ ගෙවෙන සෘතුව සහ ඒ සෘතුවටම ආවේණික ගහ කොල සහ මල් වර්ග ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. එතකොට මට දැනෙනවා හිත ගෙවෙන කාලය ගැන හොඳ අවධානයකින් පසුවෙන බව. ඒ විතරක්ම නෙවෙයි, ඒ season එකේ පිපෙන්නෙ නැති මල් වර්ග හොය හොයා කරදර වෙන්නෙ නැහැ. ඒ වගේම ඉතා වැඩි මුදලක් වියදම් කරලා ඒවා මිලදී ගන්න පෙළඹෙන්නෙත් නෑ මොකද ඒවා ඊගාව අවුරැද්දෙ ආයෙ පිපෙනවනෙ.


ree

කාන්තාවකට මුලුතැන් ගෙයි කෑම පිසින තැන ඉඳලා දරැවන්ගේ කටයුතු කරන ගමන් තමන් විවේකීව කාලය ගත කරන තැන දක්වාම සතිමත් වෙන්න පුලුවන්.


ree

හේතුව තමයි, කොතන හිටියත මොන දේ කලත් ඔයාගෙ හිත ඔයා ගාවමයි තියෙන්නෙ. තමන් කරන කියන දෙයක් නිසා හෝ තමන්ගෙ හිත තුල හට ගන්න දෙයක් නිසා හෝ තමන්ගෙ හිත තුල යම් කිසි දැවීමක්, තැවීමක්, හෝ ගැටීමක් ඇති වෙලා නම් ඒ බව දැන ගන්න පුලුවන් හැකියාව ලැබෙන්නෙ සතිමත් වීම තුළිනුයි.


ree

ගෙදර දොරේ හරි වත්තෙ හරි තියන පුංචි පුංචි දේවල් හොඳට සිහිය පහිටවාගෙන කිරීම තුළිනුත් සතිමත් බව තමන් තුල වර්ධනය කර ගැනීමේ හැකියාව කෙනෙකුට ලැබෙනවා. මේ දවස් වල අහන දේවල් තුලින් හිත තරමක් පෙළෙන වෙලාවක මම තෝර ගත්ත mindful activity එක තමයි මේ. ගෙදර ඉස්සරහ කඳු වැටියට මුහුණ දාගෙන පඳුරට හැදෙන ලැවෙන්ඩර් පඳුරැ වල සමහර මල් දැන් වියලීගෙන යනවා. ඒ කාලෙට ඒ මල් කඩලා වේලෙන්න තියනවා හෙවනෙ හරි ගේ ඇතුලෙ හරි. ඉතින් ඔය වැඩේ මගෙ අතින් මග හැරි හැරි තමයි තිබුනෙ. පහුගිය දවසක මම හොඳට වෙලාව අරගෙන කිසි දෙයකට මගේ අවධානය පැහැර ගන්න ඉඩ නොදී ඒ වැඩේට යොමු වුනා. Lavender වල ලස්සන දම් පාටත්, ආවේණික සුවඳත් වර්තමානය තුල ආයතන වශයෙන් ground වෙන එක ගොඩක් පහසු කලා.


ree

වැස්සත් අව්වත් දෙකම එක පැයක් අතුලත අත් විඳින මෙල්බර්න් නුවරට ආවේණික කාලගුණය මේ දවස් වල එලියට යන එක අපේ ගෙදර ටිකක් අඩු කරලා තියෙන්නෙ. ඒ දවස් වලට අපි ගොඩක් ප්‍රිය කරන දෙයක් තමයි තේ ටිකක් හදාගෙන තියන පලතුරක් හරි පැණි රස දෙයක් එක්ක හරි එලියට වෙලා රස විඳින එක. මහත්තයගෙ විවේක වෙලාව එනකන් ඉඳලා අපි දෙන්නගෙ අද උදේ තේ වෙලාව මේ විදියටයි මම ලෑස්ති කර ගත්තෙ. උදේ වරැව ගෙවුන හැටි ගැන කෙරුණු පුංචි කථා බහකින් පස්සෙ කුරුල්ලන්ගේ සද්ද සහ හුළඟට සෙලවෙන කඳුකර පළාතෙ සරුවට වැඩෙන ගස්වල සද්දෙ අපේ හිත් නැවතත් නැවුම් කලා.


ree

මුලු දවසම අරගෙන බැලුවොත් සතිමත්ව ගෙවන්න බැහැයි කියලා හිතෙන තැනක් ඇත්තෙන්ම නැහැ. හැබැයි පුහුණු වෙන කාලෙදි අසීරැයි. ඒකටත් බලපාන හේතු කීපයක්ම තියෙනවා. ඉතින් අපි ග්‍රීෂ්ම සෘතුවේ පටන් ගත්තු Mindfulness journey එක යන ගමන් ඒ දේවල් හෙමීට කථා කරමු.


ඉතින් අදත් මේ ලිපිය මේ දක්වා කියෙව්වට ඔයාට ගොඩක් ස්තූතියි.

වෙනදා වගේම මේ ගැන ඔයාගෙ අදහස් කියවන්නයි මම මග බලාගෙන ඉන්නෙ.


ගොඩක් ආදරයෙන්

ඉරේෂා

 
 
 

3 Comments


Milani Darshika
Milani Darshika
5 days ago

If you don’t mind can u conduct a mindfulness session for us as well 🥹☺️🥰……

Like

Milani Darshika
Milani Darshika
5 days ago

Akki thank you soo much sharing these most important and valuable memories and thoughts with us I love this blog and am practicing mindfulness nowadays

It’s because of you only you am a Buddhist and that’s my only way to see the life and the samadhi

You made me lead the way of mindfulness ♥️🥰🥹 truly grateful 🙏 and thankful 🙏

Love u

Mila …

Edited
Like
Replying to

Hi Milani,

Thank you so much for this lovely feed back. Keep up with the practice, it is definitely lead you to your inner peace ❤️

Like
Post: Blog2_Post
bottom of page