top of page
Search

Summer - Mindfulness journey - Daily practice

  • Writer: Iresha Kariyawasam
    Iresha Kariyawasam
  • Dec 6, 2025
  • 4 min read

ගොඩක් හිත් කරදර තියන කාලයක් තමයි අපි කාටත් ගිය පාර blog එකත් අදත් අතර ගෙවුනෙ.

හිත් කරදර එනවා කියන එක ජීවිතේම කොටසක්, ඒ වගේම සතුට වගේම දුකත් අපට උරුමයි වගේ කථා කොයි තරම් කිව්වත් දරුණු හිත් තැවුලක් තමන්ටම ආපු දාටයි හරියටම මේ කිව්වෙ මොකක්ද කියලා අපට වැටහෙන්නෙ. ඒකත් ඔලුව උස්ස ගන්න බැරි වෙන්න දැනෙනකොට තමයි අපි ටිකකට හරි හිතන්න ගන්නෙ ජීවිතය ඇත්තටම මොකක්ද කියලා. මුලු ජීවිතේම හරි හම්බ කරපුවා වතුරට ගහගෙන යනකොට, පසට යට වෙනකොට, ජීවිතේ පුරාවට දුක සැප බෙදාගෙන ළඟින් හිටපු අය ඇස් පනාපිට වතුරට ගහගෙන යනකොට තමයි බලන් ඉන්න අපටත් ජීවිතය ඇත්තටම මොන වගේ තැනක්ද කියලා හිතෙන්නෙ.


කිසි දෙයක් නැතුව අම්මා තාත්තවවත් අඳුනන්නෙ නැතුව මේ ලෝකෙට එන අපිට කොහොමද මේ තරම් වස්තු තණ්හාවක්, තමන්ට නැති දේ තියන අය කෙරෙහි ඉරිසියාවක්, ඒ වගේම තමන් ආසාවෙන් අල්ලගෙන ඉන්න දේවල් එහෙමත් නැත්නම් දේවල් විය යුත්තෙ මෙහෙමයි කියලා තමන් හිතන් ඉන්න විදිය වෙනස් වීමෙන් හිත් තුල ඇති වෙන අධික ද්වේෂයෙන්.....මේවා කොහොමද වුනේ...



දින, මාස ගණනින් අපේ ජීවිත තුල ගෙවිලා යනකොට අපි වටේ තියන වස්තු සම්භාරයටත් වැඩිය, අපි වටේ ඉන්න ආදරණීය පිරිසටත් වැඩිය අපි එකතු කර ගන්නෙ රාග, ද්වේෂ, මෝහයන්ගේ වර්ධනය නිසා නැවත නැවතත් සසර උපදින්න හේතුමයි. මේ අවුරැද්දෙ ජනවාරි මාසය පටන් ගන්නකොට අපි තුල තිබුන හිත් පරම්පරාවයි දැන් අවුරැද්ද ගෙවෙන වෙලාවෙ තියන ආකාරයයි බැලුවත් ඇති මේ දේ තේරැම් ගන්න.

ඉතින් mindfulness practice එකක් කියන්නෙ ඒ ඒ කරන වැඩේ ගැන හිතනවා කියනවා එක නෙවෙයි. ඒ වැඩේට යම් සිහියක් පවත්තනවා කියන එකයි.



ගෙදර දොරේ වැඩ කරන අතරෙ වෙන දේවල් කල්පනා කියලත් කිසි ගැටලුවක් නෑ. බුද්ධ දේශනාවේ "සති" කියලා කියන මූලික දේ වටහගෙන හිටියොත් ඒ හොඳටම ඇති. දැන් උදාහරණයකට, උදේම ඇඳ රෙදි මැරැ කරලා නැවුම් ඇඳ රෙදි ඇඳට දාලා පිලිවලකට කාමරය අස් පස් කරලා රෙදි ටික හෝදන්න දාන්නයි මේ හදන්නෙ. ඉතින් මොන දේ කල්පනා වුනත්, ඔය වැඩ ටිකට අදාල තැන් වල යම් සිහියක් පැවතුනානෙ. ඒක කියන්න නෙවෙයිනෙ බුදු කෙනෙක් ලෝකෙට පහල වුනේ.

ඔන්න ඔය වැඩ ටික කරගෙන යන අතරෙ හිතට හදිසියේම එනවා දැවීමක්, තැවීමක්, බර ගතියක්, පීඩනයක්, එපාවීමක් එහෙමත් නැත්නම් කලකිරීමක් වගේ දෙයක්.

මෙන්න මේ වෙලාවට මීට කලින් තිබුනෙ නැති යම් කැළඹීමකට තමන්ගෙ හිත දැන් පත් වෙලා කියලා දැන ගන්න ඕනෙ මුලින්ම.



දැන් බලන්න පුලුවන් මේ කාමරය අස්කරන වැඩේට අදාලව ද මේ සිත් තැවුල් ආවෙ නැත්නම් හිත තුල නැගුන වෙනත් දෙයක් උදෙසාද කියලා. ඊළඟට ඒක ද්වේෂ කාරී දෙයක් නම් වහාම තමා ඇතුලු සියලු සත්වයෝ නිදුක් නීරෝගි වේවා කියලා හදවතට දැනෙන්නම මෙත් වඩන්න ඕනෙ. ටිකකින් හිත තරමක් සන්සුන් වුනහම හොයලා බලන්න මොන දේ වෙනස් වීමෙන්ද ඔය තරහ ආවෙ කියලා. නැත්නම් හිතාගෙන හිටිය මොන දේ නොලැබීමෙන්ද ඔය කලකිරීම ආවෙ කියලා. ඒක හොයා ගත්තට පස්සෙ, දැන් බලන්නකො ඒ ආසාවෙන් වෙන්න ඕනමයි කියලා එහෙමත් නැත්නම් තියෙන්න ඕනමයි කියලා අල්ලගෙන හිටපු දේ කොයි තරම් නම් ඔයාගෙ ඇස් ඉදිරියේම වෙනස් වුනාද කියලා. මේක මායාවක් වත් විජ්ජාවක් වත් නෙවෙයි. මේ සරල ධර්මතාවයක්.



දැන් ඉතින් ඔයාට තියෙන්නෙ ඔය අල්ගෙන හිටපු දේ වෙනස් වෙන නිසාම ඒක "මම", "මගේ" කියලා තියා ගන්න සුදුසු නැති බව නුවණින් දකින්නයි. ඉතින් ඔහොම Practice කරගෙන යනකොට ඔයා කිසි දෙයක් අතඅරින්න ඕන නැහැ. ඉබේමයි අත හැරෙන්නෙ. නිකන් නෙවෙයි සිත් තැවුලත් එක්කමයි.

මේ දේවල් ලිපියකින් තේරැම් කරන්න ගත්ත උත්සාහයේදිසමහර විට ඒකෙ ගැඹුර නිවැරදිවම විස්තර වෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඔයා කැමති නම් ඉස්සරහට මේ ගැන තව videos වලිනුත් අපි කථා කරමු.



අපේ ගෙදර baking වැඩ කරන්නෙ සාමාන්‍යයෙන් අපේ දුව. එයා මේ banana bread එක bake වෙන්න දාලා මට oven එකෙන් එලියට ගන්න කයලා නා ගන්න ගියා. උණුවෙන් banana bread කන්න මම ගොඩක් කැමතියි. අපි මෙතනින් දැන් උදාහරණයක් හදමු උඩ විස්තරය තේරැම් ගන්න. "දැන් ඔන්න මේ bread එක කපනකොට, ඒකෙ සුවඳ මට දැනෙනවා, ඒ වගේම උණුසුම් ගතියත් දැනෙනවා. හොඳට soft බවකුත් දැනෙනවා, කලින් දූගෙ banana bread කාලා තියන නිසා ඒවයෙ රසයත් මගෙ හිත හොඳට අඳුනනවා. ඕන්න දැන් තවම මම කෑවෙ නැතුවට හිත ඇතුලෙන් රස පෙරේත කම පණ ගහලා කන්නත් කලින්ම රාගයෙන් බැඳුනා නේද? හැබැයි කාලා බලනකොට ඒකෙ පැණි රසත් වෙනදට වඩා අඩුයි, හිතුව තරම් soft එකකුත් නෑ. දැන් අමනාපයක් ඇති වුනා නේද?"


(ඇත්තටම දූගෙ banana bread එක හොඳ රසට තිබුනා 😊👍)

මෙන්න මේ වෙච්ච හදිය මම දැක්කා නම්, අඳුන ගත්තා නම්, මට දැන් පුලුවන් වෙනවා නේද මගේ හිතේ ඇති වුන අමනාපයට හෝ ද්වේෂයට හේතුව සොයා බලන්න. අර මගේ හිත තුල පණ ගැහුන banana bread සම්බන්ධ ගති ලක්ෂණ වලට තිබුනු බැඳීම ඒ දේවල් වෙනස් වුන ගමන් ද්වේෂයකට පෙරලුන හැටි ගැන දකින්න මට අවස්ථාව ලැබෙනවා.



මේ Practice එක ඔයා තුල ප්‍රගුණ වෙනකොට ඕන තැනක, ඕන සමාජයක, ඕනම අවස්ථාවක ඔයා නිතරම දකින්නෙ ඔයාගෙ තුල වෙනස් කම් නිසා ඔයා තුල හට ගන්න ඇලීම් සහ ගැටීම් අවම වෙන්න පටන් ගන්නවා. ඒ තුලින් ඔයාට දැනෙයි ඔයා ලොකු මානසික නිදහසක් ලබන බව.

ජීවිතය, ඒකට ආවේණික සියලු හැල හැප්පීම් මැද ගෙවෙන අතර ඔයා නිදහස් වෙලා යයි. ඔයත් හැබැයි ඒත් ඉන්නෙ ඒ ජිවිතය තුළමයි, ඒ ලෝකය තුළමයි, අනිත් අය වගේමයි, හැබැයි ඔයා සසර බැම්මෙන් නිදහස් වෙලා.


ඉතින් මේ ලිපියත් ඔයාගෙ ආධ්‍යාත්මික ගමනට ඔයාට රුකුලක් වෙයි කියලා හිතුන නිසයි ලිව්වෙ. ඈත මීදුමෙන් බාගෙට වැහුන මගේ නිදන කාමරයේ කවුලුව හරහා ලස්සන කඳු පන්තිය දිහා සැරින් සැරේට මේක ලියන ගමන් බැලුවෙ මගේ අදහස් වචන වලට පෙරලන්න අවශ්‍ය පුංචි විවේකය ගන්නයි. නිවී සැනහිල්ලෙ mint තේකකුත් බොන ගමන් මේ ලිපිය ඔයාට ලිව්වෙ ඔයත් මං වගේම උත්සාහ දරයි කියලා හිතුන නිසයි.


ඉතින් මේ තරම් වෙලා මේ ලිපියත් කියෙව්වට ගොඩක් ස්තූතියි.

ගොඩක් ආදරයෙන්

ඉරේෂා කාරියවසම්

 
 
 

5 Comments


Manjaree Thilakarathna
Manjaree Thilakarathna
Dec 07, 2025

අක්කෙ මේ ගැඹුරු ධර්ම කාරනා ඔයා ඉදිරිපත් කරන විදිහට බොහොම හොදින් අවබෝධ වෙනවා..මම ආරාධනය කරනවා මේ ගැන තව තවත් වීඩියෝ කරන්න කියලා...මේ කල්‍යාන මිත්‍ර ඇසුර මිල කරන්න බැරි තරම්..සිත් සුවපත් කරන මේ පින අක්කගේ සසර ගමන කෙලවර කර ගැනීමට හේතු වාසනා වේවා..නිදුක් නිරෝගී සුවපත බව ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණ ලැබේවා 🙏🙏🙏❤️

Like
Iresha Kariyawasam
Iresha Kariyawasam
Dec 10, 2025
Replying to

🙏🙏♥️♥️

Like

Damayanthi Herath
Damayanthi Herath
Dec 06, 2025

අනේ හරිම ආසාවෙන් කියෙව්වේ නංගියෝ..🙏♥️. ඒවානම් ඇත්තටම ඇත්ත. බුදු දහමත් එක්ක මම චූටි කාලෙ ඉදලම හැදුනත්.. ඔයා කියන දේවල් අනුව ජීවත් වෙන්න ගත්ත මට.. දැන් හිත⁣ට පුදුමාකාර සැනසීමක් සතුටක් ලැබෙනවා. ඒ පිං ඔයාටත් , ඔයාගෙ දෙමව්පියන්ටත් නිරන්තරයෙන්ම ලැබේවා..! තෙරැවන්ගේම සරණයි..! 🙏♥️

Like
Iresha Kariyawasam
Iresha Kariyawasam
Dec 10, 2025
Replying to

හරිම සතුටුයි අක්කි මට. ඔයාට ගොඩක් ස්තූතියි මේ දේවල් share කලාට ♥️♥️🙏🙏

Like

Chathurani Rupasinghe
Chathurani Rupasinghe
Dec 06, 2025

🙏🙏🙏

Like
Post: Blog2_Post
bottom of page