top of page
Search

The art of being alone -Spring diary

ree

උදේ පාන්තදරට සීතල මීදුම් ගතියත් දවල් වෙනකොට ටිකක් රස්නෙ ගතියත් සහ හැන්දෑ වෙනකොට නැවතත් සීතල ගතියකුත් දැනෙන වසන්ත කාලෙ ඔක්තෝබර් මාසෙ මැදත් පසුකරගෙන කාලය වේගයෙන් දුවනවා. උදේ පාන්දරින්ම අලුතින් පිපිලා තියන මල්, පිණි වැටුනු තණකොල, ලා හිරැ රැස් වල අසිරිය නැරඹුවෙ කොකටුවො, මයිනො වගේ කට්ටියගෙ සංගීතයත් එක්කමයි. මේ විදියට කාලය ගත කරලා ඇවිත් උදේම වැඩ පටන් ගත්ත නිසා කුස්සිය පැත්තට ආපු හැමෝටම දැනුනෙ උණුසුමක්. උදේම ලිප පත්තු කරගෙන කෑම හදනකොට, අවන් එකේ පාන් පිලිස්සෙනකොට සුවඳ වගේම හරිම උණුසුමක් දැනෙනවා. ඒක පවුලක ආදරය, ආරක්ෂාව ගැන ඇති හැඟීම, එකමුතු කම සහ බැඳීමට ලොකු අර්ථයක් එකතු කරනවා. මේ විදියටම නොවුනත්, ලාංකික අපේ පැරණි ගෙවල් වල උදේ පාන්දරින්ම දර ලිප් පත්තු කරලා අපේ ආච්චි අම්මලා කෑම උයනකොට දැනුන හැඟීම මතක කාටද? අන්න ඒ වගේ හැඟීමක් මගේ නිවස තුලත් මට දැනුනා.


ree

රතු රෝස ගහ සීතල කාලයේ හැංගිලා ඉඳලා මේ වසන්තයේ අපිට දුන්න පලවෙනි රෝස මල තමයි මේ. අද උදේ වත්තෙ ඇවිදිනකොට එයා හරි ලස්සනට පිපිලා හිටියා.

ඉතින් ඒත් එක්කම අපේ පලවෙනි කාරණාවට යමු.


1) තමන් එක්ක තනියම සාර්ථකව කාලය ගත කරන්න නම් උදෑසන හෙමීට පටන් ගන්න.


උදෑසන පටන් ගන්න විදිය අපේ මුලු දවසටම බලපානවා. තමන් එක්ක ආසාවෙන් කාලය ගත කරන කෙනෙක් අනිවාර්යයෙන්ම උදෑසන තමන්ව welcome කරනවා. ඒ ස්වභාව දහමෙ රිද්මයට තමන්ව එකතු කිරීමෙන්. ස්වභාව දහම තේරැම් ගන්න නම් කරන්න තියන හොඳම දේ තමයි තමන් තුල නිහඬ තාවයක් ඇති කර ගන්න එක. තමන් තුල නිහඬ තාවයක් ඇති කර ගන්න හොඳම විදිය තමන් තමන් එක්ක එකතු වීම. උදෑසන rush වෙනවා කියන්නෙ එයාගෙ කාලය ගෙවෙන්නෙ එක්කො කාත් එක්ක හරි කථා කර කර. එහෙමත් නැත්නම් අති වේගයකින් ධාවනය වෙන තමන්ගෙම සිතුවිලි එක්ක. තමන් තුල සිද්ධ වෙන දේ ගැන කිසි අවධානයක් නැතිව. එතකොට හිත කලබලයි. තමන් එක්ක කාලය ගත කරන කෙනා තමන් තුල උදේ කාලයේ හට ගන්න සිතුවිලි ගැන සිහියෙන් ඉන්නෙ. ඒ නිසාම එයාට rush වෙන්න දෙයක් නෑ.


ree

2) තමන් එක්ක තනියම කාලය ගෙවන කලාව දන්න කෙනා එයාගෙ තුල තියන අනවශ්‍ය කථාව නතර කරන හැටි දන්නවා.


එයා තුල කලබලයක් හදිසියක් නැති නිසාම එයාට එයා තුල ඇතිවෙන සිතුවිලි ගැන හොඳ සිහියක් පවතිනවා. ඒ සිහිය විතරක්ම නෙවෙයි, ඒ තුලින් එයාට අවශ්‍ය සිතුවිලි මොනවද අනවශ්‍ය සිතුවිලි මොනවද කියලත් දැන ගැනීමේ හැකියාව ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට එයාට අනවශ්‍ය හිතේ කතාව අත ඇරලා දාන්න හැකියාව ලැබෙනවා. මේ හැකියාවන් නිහඬවම තමන් තුල වර්ධනය කර ගන්න නිහැඬියාව දන්න, තමන් එක්ක කාලය ගත කරන කලාව දන්න කෙනා පුහුණු කරගෙන ඉදිරියට යනවා.


ree

මේ කථාව අතරෙ මට හිතුනා මේකත් ඔයත් එක්ක බෙදා ගන්න. මේ කථා පොත් කියවලා තියන අය අනිවාර්යයෙන්ම comment කරන්න.

මේ ළඟදි පරණ පොත් කඩයකට ගිය වෙලාවක තමයි දකින්න ලැබුනෙ. ඒ පොත ටික වෙලාවක් පොත් කඩේටම වෙලා කියවන්න මට ලැබුන අවස්ථාව මගේ මුලු හිතම නැවත වරක් සුවපත් කලා. හිත සුවපත් කර ගන්න නෙ අපි මේ හැම දේම කරන්නෙ. ඉතින් ඒ මට ලැබෙන ඉතා කුඩා වූනත් මහත් සැනසීමක් දෙන අත්දැකීම් වලට මම ලොකු අගයක් දෙනවා.


3) තමන් එක්ක කාලය තනියම ගත කරන කලාව ප්‍රගුණ කරන කෙනා අර්ථවත්ව කාලය ගෙවන්න උත්සාහ කරන්න ඕන.


ree

අද ලෝකයේ අපට උගන්වන්නේ ඔයාට විවේකයක් ලැබුනොත් ඒ කාලය කාත් එක්ක හරි කථා කරන්න, එහෙමත් නැත්නම් ලෝකෙ අනිත් අය කරන දේවල් ගිහින් බලන්න වගේ දේවල්. ඒ හැම දේකදිම තමන්ට ලැබෙන කාලය distraction එකකින් පුරවනවා. ඒ නිසාම තමන්ට තමන් වෙනුවෙන්, තමන් එක්ක කරන්න තියන දේවල් ගොඩක් කර ගන්න බැරිව යනවා. ඒ වෙනූවට ලෝකයේ ඉන්න අනිත් අයගෙ විස්තර සහ කථා වලින් ඔලුව පිරෙනවා. එතනින් පස්සෙ මේ කිසි දෙයක් නොදන්න මොළය එයාට ලැබුන විස්තර process කරන්න පටන් ගන්නවා. ඊට පස්සෙ stress, unhappiness, sadness වගේ දේවලින් පටන් අරගෙන විශාල මානසික ගැටලු දක්වා වර්ධනය වෙන්න පුලුවන්.

ඒ වෙනුවට තමන් එක්ක කාලය ගත කරන කෙනා වෙලාවක් ලැබුනම තමන්ට තමන් වෙනුවෙන් කරන්න තියන දේටයි මුල් තැන දෙන්නෙ.


ree

4) තමන් සමඟ ආසාවෙන් කාලය ගත කරන කෙනා නිහැඬියාවට බය නැහැ. මොකද ඒක එයා වර්තමානයේ තියන ගැටලුවකින් පැනලා යන්න කරන දෙයක් නෙවෙයි.


සමහර වෙලාවට තමන්ගෙ හිත තමන් එක්ක තනි වුනහම ගොඩක් අතීත, අනාගත ප්‍රසන්න සහ අප්‍රසන්න දේවල් මතකයට නැගිලා එන්න පුලුවන්. එතකොට ඒ දේවල් අමතක කර ගන්න කෙනෙක් හුස්මට හෝ ඇවිදින භාවනාවක් වෙත සිහිය ගෙනියනවා තාවකාලිකව අර දේවල් වලින් මිදෙන්න.

තමන් එක්ක සතුටින් කාලය ගත කරන කෙනා තමන් ඇසුරු කර යුතු සිතුවිලි මොනවද සහ ඇසුරු නොකල යුතු සිතුවිලි මොනවද කියලා හොඳටම දන්න නිසා එයාට වර්තමානයෙන් පැනලා යන්න උවමනාවක් ඇති වෙන්නෙ නැහැ.


ree

පැණි රස දෙයක් ගෙදර හදා ගත්තම සීමාවක් මතක් වෙන්නෙ නැතුව කන්න හිතෙන වෙලාවල් තියනවා. හැබැයි රස ගුණ වගේම ඒකෙන් අහිතකර බලපෑමකුත් ලැබෙන්න පුලුවන්.


5) තමන් එක්ක කාලය ගත කරන කෙනා සමාජය තුල තමන් විසින්ම පනවගෙන තියෙන සීමා මායිම් අකුරටම රකිනවා.


සමහර අයගෙ ආශ්‍රයන් අපිට සුවයක් ගෙනත් දෙනවා වගේම සමහර ආශ්‍රයයන් ගේන්නේ ලොකු පීඩාවක්. ඒ දෙකොට්ඨාසයටම හොඳින් අඳුනන නිසා තමන් විසින්ම අහිතකර ආශ්‍රය ඒ අය නවතා දමනවා. ඒ වගේමයි තමන් කරන කියන දේවල් සහ තමන් තුලට ඇතුල් කර ගන්නා තොරතුරැ තමන්ට හානි දායක නම් ඒ අය ඒ දේවල් නොකර සිටීමට ගන්නා තීරණය මොනම හේතුවකටවත් වෙනස් කරන්නෙ නැහැ.


තමන් එක්ක ආසාවෙන් ටික ටික හරි හොඳට සිහියත් පවත්වගෙන ඉන්න පුලූවන් වුනොත් ඒ අය විඳින සුව සහනය ඔයාටත් විඳ ගන්න අවස්ථාව ලැබේවි.


ree

මේ ලිපිය මේ දක්වා කියෙව්වට ගොඩක් ස්තූතියි.

නිහඬ බව ගැන ඔයාගෙ අත්දැකීම් සහ අදහස් මාත් එක්ක බෙදා ගන්න කියලා ආරාධනා කරනවා.


ගොඩක් ආදරයෙන්

ඉරේෂා කාරියවසම්


 
 
 

1 Comment


මේ වගේ වටිනා අදහස් ලබා දෙනවාට බොහොම ස්තූතියි

Like
Post: Blog2_Post
bottom of page